Wednesday, August 28, 2013

මේ මා වස් කාලය යි

මේ මා වස් කාලය යි
දුවන වැහි වලට තෙත බරිත වී
ළිඳ ගාව ඉද්ද ගහේ මල්
හිනැහේ වැහි බිඳු වලට
මිහිරි උදයේ නැවුම් සුළඟින්
මුහුව ඔබේ සුවඳ
නෙතු කැළුම් සමග
හාදු දෙයි නගුල් තරු එළියට
බලා ඉමි නෙත් අයාන
නුඹේ රුව දෙසම මම
සහස් සුවහසක් වර
රළක් සේ නැගී එන
නොහිමි අම හැඟුම් මැද

විළිලන හීලෑ හැඟුමන් සොයමින්

විළිලන හීලෑ හැඟුමන් සොයමින්
යළි යළි මතකය දිව යයි අතීතෙට
අත් වැලට වාරු වී දිරිය ගෙන සිත් අගට
අතැ’ඟළි ගෙන අප පියමැන ගිය

ඒ මාවත අද වල් බිහි වී ඇත
අත් වැලත්, සූරිය මලත්
දනී දෑ අප තෙපුල් මිමිනූ
පඩි පෙළත්, තුඹ මලත් කියයි
අප ඇවිද ගිය සැටි

පැතුම් දුර්ගය මාන ‍නොපෙනුණ
නිමා කොට නියං සමය
සිත් නදී සීත දියවර රුගෙන
පසු කළෙමු අපි වංකගිරි මග